Poth.lk

0712588808

වික්ටෝරියා හෝල්ට් – සැබවින් ම ඇය කවුද?

මිලියන ගණන් වූ රසියකයන් අතර වික්ටෝරියා හෝල්ට්, පිලිෆා කාර් වැනි නාමයන් වැඩි වශයෙන් ජනාදරයට පත් වූවත්, ඇයගේ සැබෑ අනන්‍යතාවය වන්නේ වෙනත් නමක්. ඇය විසින් රචිත ඓතිහාසික ප්‍රබන්ධ, ප්‍රේම වෘත්තාන්ත පිටපත් මිලියන දෙසීයකට අධික ප්‍රමාණයක් ලෝකය පුරා ම විසිරුණත් ඇයට අවශ්‍ය වන්නේ ලෝකයෙන් සැඟ ව ජීවත් වෙන්න. ඒ නිසා ම ඇය තමන්ගේ නිර්මාණ සඳහා එකිනෙකට වෙනස් අනවරත නම් රැසක් යොදා ගන්නවා. ඒ ව්‍යාජ නම් නිසා ම සමහරුන් ඇය ව ඩෆ්නි ඩු මෞරිඑර් නම් වූ වෙනත් ලේඛිකාවක් ලෙසිනුත් වරදවා වටහා ගන්නවා. නමුත් ඇය සැබැවින්ම එලිනෝර් ඇලිස් බුර්ෆොර්ඩ්. එලිනෝර් ඇලිස් බුර්ෆොර්ඩ් 1906 සැප්තැම්බර් මාසයේ පළවෙනි දා ලන්ඩනයේ දී උපත ලබනවා. එලිනොර්ගේ අම්මා ඇලිස් ලුයිස් බුර්ෆෝඩ්.

එලිනෝර්ගේ තාත්තා නැව් තාටකයන් හි කුලී කම්කරුවෙකු ලෙසින් සේවය කළ ජෝසප් බුර්ෆෝඩ්, එලිනෝර් කියවීම හුරුපුරුදු වෙන්නේ තමන්ගේ තාත්තාගෙන්. වයස අවුරුදු හතරේ දී පොත් කියවන්න දැඩි ලෙස ඇබ්බැහි වූ පුංචි දැරියක වුණු එලිනෝර්, නව යොවුන් අවධියේ පටන් ම නිවසේ සිට අධ්‍යාපනය හදාරනවා. ඒ ඇයගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා.

ලන්ඩනයේ උපත ලැබීම සහ හැදී වැඩීම පිළිබඳ එලිනෝර් තමන්ගේ ජිවිත කාලය පුරා ම ඉතා තෘප්තිමත් ව සිටියා. ඇය නිතර ම පැවසුවේ, තමන්ගේ නිවසේ දොරකඩින් එපිටට විහිදෙන වීදි දිගේ ගමන් කරනවා කියන්නේ වසර දෙදහකට අධික ඉතිහාසයක මතක ඔස්සේ ඇවිද යනවා හා සමාන ක්‍රියාවක් ලෙස යි. එමෙන්ම තමන් එකල වීදි දිගේ ඇවිද ලන්ඩනයේ අතීත මතක ගවේෂණයෙන් ඉමහත් සතුටක් ලැබූ බවත් ඇය වැඩිදුරටත් පවසනවා.වයස අවුරුදු දහසයේ දී වෘත්තීය පුහුණු විද්‍යාලයට ගිහින් ලඝු ලේඛනය, යතුරු ලියනය, සහ භාෂාවන් ඉගෙන ගන්න එලිනෝර්ගේ මුල්ම වෘත්තීය ලෙසින් ඇය හැටන් ගාඩ්න්හි ආභරණ වෙළදාම් කරන්නට යනවා. එහි සේවය කරන කාලයේ දී ඇය මැණික් වර්ග කිරන්නට වගේ ම ලියන්නත් කාලය හොයා ගන්නවා. අනතුරුව ඇය සේවය කරන්නේ ආපන ශාලාවක ප්‍රංශ සහ ජර්මන් කතා කරන සංචාරකයින්ට භාෂා පරිවර්තිකාවක වශයෙන්. එම අවන්හලට කිසිදු දිනෙක ජර්මන් සංචාරකයින් පැමිණ නැතිවා සේ ම පැමිණි ප්‍රංශ ජාතිකයින් ද ඉතා කාමුක පුද්ගලයින් ලෙස එලිනෝර් පසුකලෙක පවසා තිබුණා.

එලිනෝර් තමන්ගේ ජිවිතයේ, විසි වන දශකයේ මුල් අවධියේ දී ම, පදම් කළ සම් තොග වශයෙන් වෙළඳාම් කරන්නෙකු වූ ජෝර්ජ් පර්සිවල් හිබර්ට් සමගින් විවාහ වෙනවා. ඔහු ඇයට වඩා විසි අවුරුද්දක් වැඩිමහල් අයෙක්. ඒ වගේ ම එලිනෝර් ඔහුගේ දෙවන බිරිඳ. පර්සිවල් ද එලිනෝර් වගේ ම කියවීමට සේ ම පොත්වලට ද ආදරය කළ පුද්ගලයෙක්. එලිනෝර්ගේ විවාහය පුංචි කාලයේ පටන් ඇයට තිබූ ලේඛිකාවක් වීමේ හීනය හඹා යෑමට ද අත්වැලක් සපයා තිබුණා.

ලේඛන දිවිය

මුලින්ම ඇය උත්සාහ කරන්නේ තමන්ගේ සාහිත්‍ය වීරයන් වූ බ්‍රොනෙට්, ජෝර්ජ් එලියට්, ඩිකන්ස්, වික්ටර් හියුගෝ, සහ තොලොස්තෝයි වැන්නවුන් අනුකරණය කරන්නට යි. 1930 දශකය තුළ ඇය දීර්ඝ නවකතා නවයක් පමණ රචනා කරනවා. ඒ සියල්ල මනෝවිද්‍යාව සහ සමකාලීන ජීවිතය පිළිබඳ ලියවුණු කෘතින්. නමුත් ඒ කිසිවක් මුද්‍රණය කරන්නට ප්‍රකාශකයින් එකඟ වන්නේ නැහැඑකල ඇය ඩේලි මේල් සහ හවස පුවත්පත් සඳහා ද කෙටි කතා ලියා යවන්නට පුරුදු ව සිටියා. වරක් ඩේලි මේල් පුවත්පතෙහි සාහිත්‍ය අතිරේකයේ කර්තෘවරයා ඇයට උපදෙස් ලබා දෙන්නේ රෝමාන්තික නවකතාවක් ලියන්නට උත්සාහ කරන ලෙස යි. ඒ අනුව ඇය ලියන ලද Daughter of Anna නමැති කෘතිය හිබර්ට් ජෙකින්ස් විසින් 1941 දී ප්‍රකාශයට පත් කරනවා.

ඒ පටන් ගැන්මත් සමගින් ඇය කෘතීන් විස්සක් පමණ හිබර්ට් ජෙකින්ස් සමග එක්ව ප්‍රකාශයට පත් කරනවා. එංගලන්තයේ දෙවන ලෝක යුධ සමයේ දී ජෝර්ජ් සහ එලිනෝර් ජිවත් ව හිඳින්නේ කොර්න්වොල් ආශ්‍රිත ලූයි නම් ප්‍රදේශයේ. එහි වූ ප්ලේඩි වෙරළෙන් ප්ලේඩි නම් වූ නම අරගන්නා ඇය ජේන් ප්ලේඩි නමින් ඓතිහාසික ප්‍රබන්ධ නවකතා රාශියක් ද ලියා ප්‍රකාශයට පත් කරනවා. එලිනෝර් ඉතිහාසයට දැඩි ලෙස ආදරය කළ ලේඛිකාවක්. ඇය සතු ව දුහුවිලි බැඳී ගිය නමුත්, ඉතිහාසයට සමබන්ධ වැදගත් තොරතුරු අඩංගු ලිපි ලේඛන රාශියක් මිටි බැඳ තිබු බව කියවෙනවා. එසේ ගවේෂණය කර ලියන ලද ඇයගේ ඓතිහාසික කෘති විශාල පාඨක පිරිසකගේ ආදරයට ලක් වුවා සේ ම, ඉතිහාසය හදාරන ළමුන්ගේ නිර්දේෂිත කෘති අතරට ද එක් කරන්නට බලධාරීන් කටයුතු කරා.ඇය වික්ටෝරියා හෝල්ට් නම් නමින් කලඑළි බසින්නේ 1960 වර්ෂයේ රචනා කරන ලද Mistress of Mellyn නමැති ප්‍රේම වෘතාන්තය සමගින්. එමෙන්ම ඇය 1972 වර්ෂයෙන් පසු ව ෆිලිපා කාර් නමින් ද, අනතුරුව එලිනෝර් බුර්ෆොර්ඩ්, එල්බුර් ෆෝර්ඩ්, කැත්ලින් කෙල්ලොව්, ඇනා පර්සිවල්, එලායිස් ටටේ සහ එලිනෝර් ඇලිස් හීබර්ට් වැනි ආරුඪ නම්වලින් කෘතීන් රැසක් රචනා කරනු ලබනවා. ඇයගේ කෘතීන් ලොව පුරා භාෂා විස්සකට අධික ප්‍රමාණයකට පරිවර්තනය වී තිබෙනවා.සිය කෘතීන් මිලියන ගණනින් ලෝකය පුරා අලෙවි වුණත්, එලිනෝර් නිරහංකාර ජිවිතයක් ගත කළ ලේඛිකාවක්. ලොව පුරා සිටි රසිකයින්ගෙන් තමන්ට ලැබුණු අප්‍රමාණ වූ ලිපි සඳහා තමන් විසින් ම පිළිතුරු ලියන්නට එලිනෝර් කටයුතු කළ බව කියවෙනවා. ඒ වගේ ම ඇය නිතර ම තමන්ගේ පවුල සහ මිතුරන් සමග කාලය ගත කරන්නටත් කාලය වෙන් කර තැබූ අයෙක්. කාලය කළමනාකාරණය කර ඉතා සැලසුම් සහගත ජිවිතයක් ගෙවූ එලිනෝර් ඉංග්‍රීසි ඉතිහාසය, සාහිත්‍ය ගැන හදාරන්නටත් ඔපෙරා රස විඳින්නටත්, චෙස් සහ ප්‍රෙහේලිකා විසඳන්නටත් තමන්ගේ එදිනෙදා ජිවිතයෙන් කාලය සොයාගත් බව පැවසෙනවා.සංචාරය සහ පසුකාලීන ජීවිතයවර්ෂ 1960 ගණන්වල දී ඇයගේ සැමියා මිය යාමෙන් අනතුරුව එලිනෝර් සරල ජිවිතයක් ගෙවන්නට, තමන්ගේ විනෝදාංශයට වැඩි වැඩියෙන් අවධානය යොමු කරන්නටත් කටයුතු කරනවා. ඇය ලන්ඩනයේ කෙන්සින්ටන් වක්‍රය ආශ්‍රිත දෙමහල් නිවසකට වී දවසේ වැඩි කාලයක් ලියන්නට වෙන් කරනවා. ඒ නිවස රාජකීය ඇල්බර්ට් ශාලාව මෙන්ම හයිඩ් පාක් උද්‍යානය පෙනෙන මානයේ ද තිබෙන්නක්.1974 සහ 1978 අතර කාලයේ දී එලිනෝර් 13 වන ශතවර්ෂයට අයත් වුණු King’s Lodging නමැති නිවස මිලට ගන්නවා. කෙන්ට් හි පිහිටි එම නිවසේ අටවෙනි හෙන්රි රජු සහ පළමුවෙනි එලිසබෙත් රැජින පවා අමුත්තන් ලෙසින් අතීතයේ වාසය කළ බව පැවසෙනවා. ටියුඩර් යුගයේ පටන් පැවතෙන කැටයම් සහිත ගිනි උදුනක් සහ පියගැට පෙළක් ද එහි තිබී ඇතැ යි පැවසෙනවා. කාලයත් සමගින් තමන්ට අවශ්‍ය ලෙස එම නිවාස සකසා ගන්නට එලිනෝර් කටයුතු කරත්, පසු ව තමන්ගේ කැමැත්තට වැඩිය බොහෝ විශාල මෙන්ම ලන්ඩනයට බොහෝ දුරකින් පිහිටි නිසා ම එම නිවස 1985 දී ඇය විකුණා දමා නැවත කෙන්සිටන් චක්‍රය වෙත යනවා. එමෙන්ම ඇය ප්ලේඩි වෙරළ ආශ්‍රිත නිවසේ ගිම්හාන කාලය ගත කරන්නටත්, එංගලන්තය අධික සීතලෙන් වෙළෙන ජනවාරි මාසයේ සිට අප්‍රේල් දක්වා කාලය තුළ නාවික ගමන්වලත් ඇය යෙදෙනවා.එහා මෙහා යන කුඩා නෞකාවල නැඟී ඊජිප්තුව, ඕස්ට්‍රේලියාව වගේ විදේශීය නැවතුම් කරා ගිය ඇය, පසුකාලීන ව එම ගමන් ආශ්‍රිත අත්දැකීම් සිය නිර්මාණ සඳහා ද යොදා ගනු ලැබුවා. මිය යන මොහොත දක්වා ම ඇයගේ සෑම ගමනක දී ම ඇය සිය යතුරු ලියනය තමන් සමගින් රැගෙන යෑමට කටයුතු කර තිබුණා. ලෝකේ කොහේ හිටියත් සෑම උදාසනක දී ම ලියන්නට වෙලාවක් වෙන් කළ ඇය ලිවීම හරියට මත්ද්‍රව්‍යකට ඇබ්බැහි වූවා සේ මෙන්ම, නිර්මාණකරණයෙන් මිදී ජිවත් වීම තමන්ට අපහසු බවත් පවසනවා.මරණයඇයගේ ජිවිතයේ අවසාන කාලයේ දී ඇයගේ ඇස්වල කෙමෙන් කෙමෙන් දුර්වල වන්නට වූ බව ද කියවෙනවා. නමුත් කිසිවකින් සාහිත්‍ය වෙනුවෙන් වූ ඇල්ම සිමා කරන්නට ඇය අකමැති වුණා. 1993 ජනවාරි 18 එලිනෝර් මිය යන්නේ ද නාවික ගමනක් අතරතුර දී. Sea Princess නමැති නෞකාවෙන් ගමන් කරමින් සිටිය දී ග්‍රීසියේ ඇතන්ස් සහ ඊජිප්තුවේ ෆොර්ට් වරාය අතර තැනක දී ඇය ජිවිතයෙන් සමුගත් ඇය, ඒ මුහුදු පතුළක ම මිහිදන් වෙනවා. දශක ගණනක් තිස්සේ කෘතීන් දෙසීයකට අධික ප්‍රමාණයක් රචනා කළ එලිනෝර් හෙවත් වික්ටෝරියා හෝල්ට් ජිවිතෙන් සමුගෙන ගොස් වසර විසි පහක් ගෙවී ගොස් තිබුණත් ඇයගේ කෘතීන්ට අද ද පවතින්නේ දැඩි ඉල්ලුමක්.
උපුටා ගැනීම – roarmedia

Leave a Comment

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop